මාංසපේශිවල සහ දණහිසේ ඇති වන වේදනාවන්ට ඔබටම කරගත හැකි කේරළ ප්‍රතිකාරයක්



වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින බරපතළ ආතරයිටීස් වර්ග ලෙස ආමවාතික සන්ධිශෝමිය හෙවත් රූමැටොයි  ආතරයිටීස් (Rheumatoid Arthritis) හැඳින්විය හැකියි. එසේම ගම්භීර වාතරක්ත (Gout), සන්ධිගත වාත (Osteo), දණහිස් ආශ්‍රිත ඇට දිරීම මූලික කොටගෙන ඇති වන සෙප්ටික් (Septic Arthritis), ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis), ඔස්ටියෝපීනියා ආතරයිටීස්, (Osteoporosis) ආතරයිටීස්, ජ්වෙනයිල් රුමැටොයි ආදිය පෙන්වාදිය හැකිය.  

මෙම රෝග තත්ත්වවලදී ප්‍රධාන වශයෙන් දණහිස ආශ්‍රිතව ආක්‍රාන්ත වීම් ඇති වීමට ඉඩ ඇති අතර දණහිස්වල කෙවෙන ගතිය – දණහිස් ඇතුළත දැවිල්ල – හිරිවැටීම – දිගින් දිගටම පවතින වේදනාව – නැමීමේදී හා දිගහැරීමේදී විවිධ ශබ්ද ඇසීම – දණහිස් ඇට ගෙවීම – දණහිස්වල බර ගතිය හා හිර ගතිය – ඇවිදගෙන යන විට දණහිස්වල කෙටීම – දණහිසෙන් පටන්ගෙන කකුල දිගේ බත්කෙන්ද හරහා විළුඹ දක්වා වේදනාව ගමන් කිරීම දණහිස දෙපැත්ත හා උඩින් ඉදිමී කාලයක් පැවතීම – දණහිස් ඇට අතර කාටිලේජ ගෙවීම හා පෝෂණ කොටස් අඩු වීම – දණහිස් ආශ්‍රිතව අනවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් හන්දිය හා ඇට අතර ස්නායු තන්තු දුර්වල වීම. සාමාන්‍යයෙන් දණහිස් ආශ්‍රිත රෝග තත්ත්වවලදී සන්ධි ආවරණ කරමින් සන්ධි වටා පිහිටා ඇති Synovial නම් වූ ආවරණය ඉදිමී ප්‍රදාහ තත්ත්වයක් ඇති කරයි. එවිට එම සන්ධිය නිර්මාණය වී ඇති අස්ථිවලද යම් ඛාදනයක් ඇති විය හැකියි. මෙම ඛාදනයට ලක්වන ස්ථානවල කැල්සියම් හා පොස්පේට් තැන්පත් වීමටද බොහෝවිට ඉඩකඩ පවතිනවා. මෙවැනි තත්ත්වයන් මතු වුවහොත් හා නිසිලෙස ප්‍රතිකාරයක් සිදුනොවුණහොත් පසු කාලීනව ඇට දිරායන තත්ත්වයකට පත්විය හැකියි.


දිගු කලෙක සිට පවතින බඩගිනි මඳ ගතිය, ආහාර අරුචිය, අජීර්ණ තත්ත්ව මෙම රෝගීන්ට පවතින විශේෂ රෝග ලක්ෂණයන් වන අතර මලබද්ධයද පෙන්නුම් කරයි.  

මෙම රෝගවලදී බොහෝ විට ශරීරයේ සන්ධිවල සමමිතිකතාව නැති වීමද සිදුවිය හැකියි. එසේම හන්දි ඇද වීමට භාජන විය හැකියි. ප්‍රතිකාර යොදන අතරතුර බුද්ධිමත් වෛද්‍යවරයා විසින් රෝගියාගේ ඉහත රෝගයට අදාළ වූ රුධිර පරීක්ෂණ වාර්තා විටින් විට ලබා ගත යුතුය. කැල්සියම් හා පොස්පේට් තැන්පත් වීම හා වෙනත් අයනවල සමතුලිතතාව නිර්ණය කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.  


තවද මෙම රෝගවලදී ඉතා තද වේදනාවක් සහිත අපහසුතාවට රෝගියාට මුහුණදීමට සිදුවන අතර එහිදී ඔවුන් වේදනා නාශකවලට යොමුවෙයි. නමුත් ආක්‍රාන්ත වූ සන්ධි නැවත යථා තත්ත්වයට පත් කිරීමට හෝ සන්ධි අතර ඇති වන විවිධ අපහසුතා මැඬීමට හැකියාවක් එම ඖෂධ තුළ නැත. ආයුර්වේද ශාස්ත්‍රය තුළදී අප රෝග මූලය සොයා ප්‍රතිකාර ආරම්භ කරන අතර ඉන් ඇති වන සංකූලතාවන්ටද විශේෂ ප්‍රතිකාර පද්ධතියක් යොදමින් අස්ථිවල ශක්තිමත් භාවය සුරැකීමටද ඖෂධ හා බැඳුණු ක්‍රියාවලි නියම කරයි.


මෙහිදී ශරීර අභ්‍යන්තරයට ඖෂධ ලබාදීම අනිවාර්ය වන නමුත් බාහිර ප්‍රතිකාරවලට මෙන්ම තර්පණ ප්‍රතිකාර එනම්, පෝෂණ ගුණයෙන් යුත් ප්‍රතිකාර සඳහා රෝගියාව යොමුකළ යුතුයි. එවැනි ඉන්දියානු කේරළීය තර්පණ ප්‍රතිකාරයක් ලෙස ඖෂධීය තෙලක් රෝගියාගේ දණහිස් මත ආලේප කර කසාය රත්කර එමඟින් දුම් දීම (Steam) මඟින් දහදිය දැමීමට සලස්වයි.


උඳුපිටි තලප පමණට සාදා ඒවායින් වැටි පිළියෙල කර දණහිස් වටා වළලු ආකාරයෙන් තබා මඳ රස්නය ඇති ඖෂධීය තෙල් වර්ග පිරවීම දැක්විය හැකියි. එසේම යොදන තෙල් හෝ කසාය වර්ග රෝගයට ගැළපෙන ඊට අනුකූල වූ ඒවා වීම අනිවාර්ය වේ.

ඒ සමඟම යෙදිය හැකි ඉන්දියානු කේරළීය සම්භවයක් සහිත පත්තුවක් මෙසේ දක්වමි.


රත් හඳුන් – තුවරලා – මහරී පොතු – දේවදාර – පෙරුම්කායම් – තිත්ත අබිං එක තරමට ගෙන කුඩුකර අත්තන කොළ ඉස්මෙන් අඹරා දණහිස් මත ආලේප කරන්න.

කකුල් කොර වී ඇද වී ඇඹරීමට ලක්වීම මෙන්ම මිනිසාගේ ඍජු කාය විලාසය නැති වී අස්ථිවල වූ රේඛීය මාර්ගය වෙනස්වීම මෙන්ම වේදනාව නොමැතිව හන්දි ගල් වී නැතහොත් හිර වී පැවතීම දණහිස්වල අනවශ්‍ය ලෙස කැල්සියම් තැන්පත් වීම නිසා ස්නායු තන්තු හා ස්නායු මාර්ගවලට හානි වීම ආදිය සිදුවිය හැකි බැවින් අදාළ අභ්‍යන්තර ප්‍රතිකාරයත් සමඟම හෝ ඊට අනතුරුව හෝ පෝෂණය සඳහා වූ ප්‍රතිකාරවලට යොමු වීමෙන් ඔබගේ දණහිස් ආශ්‍රිත රෝගී තත්ත්වය නිට්ටාවට සුවකර ගත හැකිය.  


ඔබ දණහිස් ආශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම් වම්බටු, මෑකරල්, කොස් වැනි වාත කෝප කරවන ආහාර, හවසට නෑම, පමණට වඩා බර ඉසිලීම, රෝගය නිසිලෙස හඳුනා නොගෙන තෙල් ගෑම අහිතකර බව මතක තබා ගන්න.



Previous Post Next Post